Monday, February 24, 2014

අපි නොදන්න බැංකු

ඊයේ මම බැංකුවකට ගොඩ වැදුනේ ගිනුමක් වසා දමන්න කියලාය. බැංකුවල දැන් ඉස්සරහින්ම ඉන්නේ පැඟිරි කෙල්ලන්ය නැත්නම් පැඟිරි කොල්ලන්ය. මගේ වඩේ කරන්න පැවරුනේ මේ පැඟිරියක්ටය. මගේ අවශ්‍යතාවට ගිනුම වැසීමය, පැඟිරියගෙ අවශ්‍යතාවය ඒ වලක්වා ගැනීමය. දැන් මෙයා මට ගිනුමේ වාසි සහ බැංකුවෙන් දෙන සේවා ගැන දිගටම කියවයි. ටිකකින් මට මල පැන්නේය.

"මේ නංගි. දැන් මේ ගිනුමෙ පොලිය 5% යි. ලංකාවෙ පහුගිය අවුරුද්දෙ උද්ධමනයත් 5% විතර. ඒ කියන්නෙ අවුරුද්දකට කලින් දාපු සල්ලි අද වෙනකොට වැඩි වෙලා නැහැ. මම මේ බැංකුවෙන් පුද්ගලික ණය දෙකක් අරන් සම්පූර්ණයෙන් ගෙවලා තියනවා. ඒවට මම 16% - 18% අතර පොලියක් ගෙවලා තියනවා. ඒ කියන්නෙ බැංකුව මගෙන් හම්බ කරගෙන. මගේ ගිනුමෙ තියෙන සල්ලි ඔයාලා පුස්කන්න දි දී තියාගෙන හිටියද? එව්ව අනුන්ට නයට දීලා ඒවයිනුත් හම්බ කරගත්තා. මගෙ ක්‍රෙඩිට් කාඩ් එක (දැන් ඒක නැහැ. මම බංකොලොත්ය) ගත්තෙ මේ බැංකුවෙන්. වාරිකේ ගෙවාගන්න පොඩ්ඩ බැරිඋන ගමන් පොලියද අර දඩ ද මේ දඩ ද ගහලා ඒකෙනුත් හම්බ කරගත්තා. ඒ විතරද ATM එකෙන් රුපියල් 100ක් ගත්තත් රුපියල් 5ක් කපාගන්නවා. අනුන්ට මෙහෙම හම්බ කරගන්න සල්ලි බැංකුවෙ දානවට වඩා හොඳයි ගෙදර තියා ගන්න එක."

මටත් නොදැනිම ටිකක් හයියෙන් කතා කරපු නිසා ලඟ හිටපු තලතුනා මහත්තයෙක් අවිත් පැඟිරියව යවා, ගිනුම වසා තිබුන සොච්චම මගේ අතේ තිබ්බේය.

ජයලලිතා අම්මා වෙත

හිතවත් ජයලලිතා අම්මේ,

ඉස්සෙල්ලාම මම ඔබ තුමියට "අම්මා" කියා ඇමතීම ඔලොක්කුවට ගන්න එපාය. අපේ රටේ සමහර අම්මලානම් කැමති අක්කා කියලා කියනවාටය. ඒත් ඔබ තුමියගෙ ප්‍රාන්තෙ ඉන්න ජනතාව ඔබ තුමිය අමතන්නේ අම්මා කියා කවුරු හෝ මගේ කනේ තිබ්බේය.

ඡන්ද වැඩ කටයුතු එහෙම සාර්ථකව කරගෙන යනවා ඇතැයි සිතමි. මම බැලුවෙ ඔබතුමිය මගේ ඤාතියෙක්වත් කියලාදය. මොකද ඔබ තුමිය රටේ වෙද හාමිනේ කෙනෙකි. එක අත්සනින් ඔබතුමිය ඡන්දය දැනටම දිනලාය. රජීව් අයියා මරාපු අහිංසකයො ටික නිදහස් කරපු එක පුදුම ගුන්ඩුවකි. ඔබ තුමීගෙ ප්‍රාන්තෙ බුද්ධිමත් ජනතාව මේ වෙනකොටත් ඔබ තුමීට ඡන්දය දී ඉවරය. දිල්ලියෙ උසාවිය ඔබතුමියගෙ තීරණයට ඉඩ නොදුන්නත් ඔබතුමී දිනුම්ය. මම කිව්වේ නැතත් දිල්ලියට විරුද්ධව ජාති වාදේ අවුස්සන හැටි ඔබ තුමිය දන්නවාය. කොහොම කලත් ඔබ තුමී දිනුම්ය.

මම මේ තකහනියක්ම ඔබතුමීට ලිව්වේ පොඩි ඉල්ලීමක් කරන්නය. අර අහිංසකයො ටික නිදහස් කලා වගේ ඔය පැත්තේ මුහුදට ඇවිත් අල්ල ගත්ත අපේ ධීවරයො ටික නිදහස් කරල දෙන්න පුලුවන්නම් හොඳය. තමුන්ගේ රටේ අගමැති මරපු එවුන්  නිදහස් කරන්න පුලුවන්නම් තමුගේ මුහුදෙ මාලු මරපු එවුන් නිදහස් කරන එක ඔබතුමීට අමාරු දෙයක් වීමට බැරිය.

ජයවේවා!

මෙයට,
හිතවත්,
රටේ වෙදා

Saturday, February 22, 2014

ලංකාවෙ කෙල්ලන්ට පොඩි උපදෙස් ටිකක්.



මේ ටික කියන්නෙ මයෙ අම්මලාට බොහෝම කරුණාවෙන්. අපිත් පිරිමි තමයි. ඒත් රටේ වෙන දේවල් එක්ක අපිට උනත් උඹල ගැන පොඩි හරි කැකුමක් තියනව. ඒ නිසා මේ කියන ටික කියවල හොඳට තේරුම් අරගනිල්ල.

දැන් කාලෙට සමහරු කියන්නෙ අබුද්දස්ස කාලෙ කියලනෙ. ඒ නිසා උඹලට තියෙන නිදහස දැන් වැඩියි. රස්සාවක් කරන්න, පංතියකට යන්න සහ වෙන ඕනෙ මල ඉලව්වක් කරන්න දැන් ගෙවල් වලින් ලොකු කේස් එකක් නැහැ. හැබැයි කොල්ලෙක් එක්ක නිදියන්න නම් බඳිනකන්ම ඉන්න ඕනෙ. එහෙම නොකර කොල්ලෙක් එක්ක නිදියල අහු උනොත් ගෙදරිනුත් අවුල් එලියෙ එවුන්ගෙනුත් අවුල්. හැබැයි එහෙම වෙන්න අවශ්‍ය නෑ. මේ ටික පොඩ්ඩක් හිතේ තියා ගත්තනම් ඔය මනස්ගාත ගැන ඔය දැරිවියො කලබල වෙන්න ඕනෙ නැහැ.

1. කොල්ලා කොහෙ හරි යමු කියල කරදර කරනවද? "කොහෙ හරි" කිව්වොත් ඉතින් නිදියන්න තමයි කියලා මයෙ අම්මලා දැනගන්න ඕනෙ. ඒක ඉතින් තමන්ගෙ කැමැත්ත. යනවනම් යන්න. ඒත් "කොහෙ හරි" ගිහින් එහෙදි බැහැ කියනවට වඩා පහසුයි යන්න කලින්ම බැහැ කියන එක.
2. කොල්ලත් එක්ක නිදා ගන්න ගියේ නැත්නම් අතාරිනව කියනවද? ඉතින් අතාරින්න කියන්න. ගොනා හැරෙනකොට දැන ගන්න ඕනෙ ඌ එන්නෙ පොල් පැලේ කන්නද තැඹිලි පැලේ කන්නද කියල. තර්ජන වලට අහුවෙන්න එපා. දාලා යන එකා එක්ක නිදාගත්තත් යනවා නොනිදාගත්තත් යනවා.
3. ඔය දැරිවියො කැමැත්තෙන් නිදා ගත්තා කියමුකො. මොකද පිරිමින්ට විතරක්යැ ආතල් ගන්න හොඳ! යන්න කලින් කොන්ඩම් කීපයක් අරන් එන්න කොල්ලට මතක් කරන්න. එහෙම නැත්නම් බෑ කියල කියන්න. "කොහෙ හරි" ගියාම ඌ දන ගහල වැඳත් කොන්ඩම් නොදා ඕක කරන්න ඉඩ දෙන්නනම් එපා. ඕවයැ ප්‍රතිඵල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.
4. කොල්ලා ඇනලා පැන්නා කියමුකො. ගිය යකා ගියාවෙ. ආයෙ ඌ ගැන හිතලා, අඬලා දොඩලා, වෙන කොල්ලෙක් එක්ක යාලු නොවී ජීවිත කාලෙම තනිකඩව ඉන්නවා කියලා අමුතු ආතල් ගන්න ඕනෙ නෑ. එහෙම හිටියා කියලා කවුරුත් සම්මාන දෙන්නෙ නෑ. මේ උඩින් තියෙන කාරණා 3 හිතට අරන් පෙරලුන පිට හොඳයි කියලා වෙන එකක් හොයා ගනිවු.
5. රටේ ඉන්න එවුන්ට ඕනෙ විදිහට ජීවත් නොවී ඉන්න හොඳට හිතට ධහිරිය ගන්නවා හොඳයි. මොකද මේකෙ එකාලා එක එක කතා කිව්වට උඹලට කන්න බොන්න දෙන්නෙ නෑනෙ.

ඉන්න ටිකේ උඹලත් පිරිමි අපි වගේ ආතල් එකක් අරගෙන ඉන්නව බලන්න අපිත් කැමතියි. මගේ සුබ පැතුම්.

අසහනකාර විදුහල්පතිලා.

මේ දවස් වල වියුණු සටහන් අවකාෂයේ සහ ජනමාධ්‍යවල අතොරක් නැතුව ලියවෙන්නේ කුරුණෑගල ප්‍රදේශයේ විදුහල්පති තුමෙක් නාගන්නා ආකාරයයි. නමුත් මෙම උද්දච්ච, අනම්‍යශීලී හා තමන් පමණක් හරි යැයි සිතන පාසල් ලොක්කෝ ඕනෑ තරම් රට වටේ සොයා ගත හැක.

කෑගල්ල නගරයේ එක්තරා ප්‍රසිද්ධ පිරිමි පාසලක විදුහල්පති තුමෙකුට ඇත්තේ ගැහැනුන්ගේ කකුල් දැකීමට ඇති බියකි. ඔහුගේ අන අනුව කිසිම හේතුවක් නිසා කිසිම මවකට සායක් හෝ ගවුමක් ඇඳ පාසල් ගේට්‍ටුවෙන් ඇතුල්වීමට අවසර නැත. ඒ තියා ඩෙනිමක් ටී ෂර්ට් එකක් ගසා පැමිණෙන තාත්තලාට අපූරුවට පාසල තුලට ගොස්  තමන් පැමිණි කාරනාව  ඉ‍ටු කරගෙන ආ හැක. නමුත් එම අඳුමම ඇඳගත්  මවකට පාසල තුලට යාම තහනම්ය.  මෙම පාසල පිරිමි පාසලක් නිසා අම්මලාගේ කකුල් දැකීම බෞද්ධ පිරිමි ළමයින්ට අකැපය. එයින් ඔවුන්ගේ මනස දුෂණය වී ඉගැනීමට නොහැකි වී, අම්මා සමග යහන් ගතවීමට පවා තල්ලු විය හැකි භයානක ක්‍රියාවකි. මෙම විදුහල්පති වරයා කියන පරිදි ගැහැනුන් පාසල තුලට එන විට අඳගෙන පැමිණිය යුත්තේ සාරියක් හෝ ඔසරියකි. ඒවා ඇඳීමෙන් නිරාවරණය වන විවිධ පාට වල බඩවල්, පිටවල්, ඉඟවල්, පපු ප්‍රදේශ මේ පිරිමි ළමයි දැක්කාට කමක් නැත.

ගවුමක් සායක් යනු ලංකාවේ සමාජ සම්මත අඳුම්ය. සාරිය අඳින්න යන වේලාවෙන් දහයෙන් පංගුවක් මිඩංගු කොට මේ ඇඳුම් ඇඟලාගත හැක. ඒවා අඳින්නේ පහසුවට මිස ආතල් ගන්න නොවන බව මේ මොට්ටයිට තේරෙන්නේ නැත. මෙවැනි ගමරාළලාගෙන ඉගෙන ගන්නා ළමයිටත් දෙවියන්ගේම පිහිටය.

Thursday, February 20, 2014

ගවයන් මිනිසුන් වී මිනිසුන් ගවයන් වීම.

අපේ හාමුදුරුවන්ට පිං සිද්ද වෙන්න ඔන්න අද වෙනකොට හරකුන්ටත් මිනිසුන්ටවත් නැති තැනක් ලැබීගෙන එන්නේය. අපේ හාමුදුරුවො පත්තරේකට කියල තිබුන හැටියට ලොක්කා හරක් මරණවාට විරුද්ධව මොනවද කරන්න කැමති උනාලු. ඒ නිසා අපේ හාමුදුරුවෝ උපවාසෙ අත් හිටෙව්වලු. අනේ සාදු.

දැන් හරක් මරණ එක තහනම් කලාට පස්සෙ කුකුල්ලු මරණ එක නතර කරන්නත් උන්නාන්සෙලාට ශක්තිය ධෛර්යය ලැබෙයි මගෙ හිතේ. ඊට පස්සෙ මාලු මරණ එකත් තහනම් කරල කලින් මූදු රස්සාව කරපු මිනිස්සුන්ට ගොවිතැන් කරන්න උගන්නන්න උන්නාන්සෙලාට දැනටම හිතිල ඇති. එහෙම කරලා තමිල්නාඩුවෙ ඉන්න මාලු අල්ලන ඈයො ටිකට අපේ මූදෙ ඉන්න මාලු ටික අල්ලගන්න දුන්නනම් ජයලලිතගෙ ඔය ලංකාවත් එක්ක තියෙන තරහ මරහත් ටිකක් අඩු කරගන්න තිබුන.

මට හිතෙන හැටියට උන්නාන්සෙල ලංකාවෙ සියලුම සත්තු ඝාතනයට වැට බැඳට පස්සෙ කරන්න හිතාගෙන ඉන්නෙ මිනිස්සු බොරු කියන එක වලක්වන එක. ඊට පස්සෙ බැරියැ හොරකම, කාමය, සුරාව වගේ දේවල් වලටත් ගේම දෙන්න. එතනින් නොනැවතී අට සීලෙම රකින්න කටයුතු කලා නම් තමයි වටින්නෙ. එතකොට ලිංගිකව හැසිරෙන එක, කුනුහරප කියන එක, සැප පු‍ටුවක වාඩිවෙන එක, සිංදු අහන එක, කොටින්ම විනෝදවෙන තහනම් කරල දානවනම් තමයි හාමුදුරුවනේ ඔබ වහන්සේලාට කෙටි පාරෙන් නිවන් යන්න පුලුවන් වෙන්නෙ. ඒත් එක්කම වරද කල ස්ත්‍රීන්ට ඔබ වහසේලාගෙ කුටියකට එන්න අනිවාර්ය කරල නීතියක් මහින්ද මහත්තයාට කියලා හදවා ගත්තනම් නිවන අත ලඟ.

අනේ සාදු.