Friday, April 25, 2014

විකෘති බුදු රූපද, විකෘති මනස්ද?

මෙදා පාර වෙසක් වලට රජතුමාගෙ අන පරිදි බුද්ධ රූපය විකෘති කර යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක වන්නේය. රටේ වෙදානම් එයට කැමතිය. මොකද ඉතිහාසයේ වුන වැරදි ටිකකුත් රජතුමාට කියලා විසඳා ගන්න මේක හොඳ අවස්ථාවක් නිසාය.

තිවංක පිළිමය තුන් තැනකින් ඇදය. මෙම ඇද තුනම කෙලින් කල යුතුය. ඉන් පසු මෙම පිළිමය හදපු එකාව දේශද්‍රෝහියෙක් කර මීලඟ මහා වංශ වෙලුමට ඇතුලත් කල යුතුය.

අවුකන පිළිමයේ බුදු හාමුදුරුවන්ගේ සිවුර තුනී වැඩිය. ඒ නිසා සිරුරේ අවයව සිවුරට පිටින් පෙනවා වැඩිය. මෙක උපාසක අම්මලාගේ සීලය බිඳීමට හොඳටම ඇතිය.

ගල් විහාරෙ සැතපෙන පිලිමෙත් මොකක්දෝ අවුලක් තිබෙනවාය. ඒකෙ ඉන පලල් වැඩිය. මොකක්දෝ ලාලිත්‍යයක්, ගැහැණු ගතියක් වගේ දෙයක් යාන්තමට වෙදාට පෙනේ. විසඳුම ගල් විහාර පිළිමය ස්ත්‍රී ලාලිත්‍යය අගය කරන ප්‍රංශය වැනි රටක ලූව් වැන් ක‍ටු ගෙයකට යැවීමය. ඊට පස්සෙ වංගෙඩියක් වගේ පිළිමයක් අලුතින් ගල් විහාරයේ තැබිය හකිය.

වැවුරුකන්නල පිලිමෙ ප්‍රමාණය අම්බානක් අවුල්ය. බුදුහාමුදුරුවන්ගෙ මනුස්ස ශරීරයට වඩා මේක සිය දහස් වාරයක් විශාලය. ඉතින් ඒක බුද්ධ රූපය අමු අමුවේ විකෘති කිරීමක් නෙවේද. ඔබ තුමා වෙසක් එකට හම්බන්තොට පැත්තෙ යන ගමන් වැවුරුකන්නලටත් විසඳුමක් දුන්නානම් හොඳය.

රජතුමනි. හැමෝම කියන්නේ අනුරාධපුරේ සමාධි පිළිමය බුදු හාමුදුරුවන්ගේ ජීවමාන රූපයට සමාන බවය. ඒත් වෙදාට මේකෙ පොඩි විකෘතියක් පෙනේ. කොච්චර සමාන උනත් මේකට පණ නැතිය. ඒක අමු විකෘතියක්ය. මහ රජතුමනි, සමාධි පිළිමෙට පණ ලබාදුන මැනවි. ඉන් පසු ලංකාව දෙස බලා බුදු හිමියන් සියදිවි හානි කරගන්නවා බලා හිඳිනු මැන්වි.