Wednesday, June 18, 2014

ඔබ ආගම්වාදියෙක්/ජාතිවාදියෙක් දැයි හඳුනාගන්න

මෙම සිද්ධි කොහේවත්, කොතනකවත්, කවදාවත් සිද්ධ නොවුන ඒවාය.

සිද්ධි #1 වාහනයක රියදුරුට මග යන තරුණයෝ තුන් දෙනෙක් කුමක් හෝ හේතුවක් නිසා අම්බානක් නෙලති. රියතුල සිටි අයෙකුටද පහර දීමට එම තරුණයෝ අමතක නොකරති.

සිද්ධි #2 වාහනයක සිංහල බෞද්ධ රියදුරුට මග යන සිංහල බෞද්ධ තරුණයෝ තුන් දෙනෙක් කුමක් හෝ හේතුවක් නිසා අම්බානක් නෙලති. රියතුල සිටි බෞද්ධ භික්ෂුවකටද පහර දීමට එම තරුණයෝ අමතක නොකරති. ("සිංහල බෞද්ධ" වෙනුවට "මුස්ලිම්" ද, "භික්ෂුව" යන පදයට "මවුලවි" යන්නද ආදේශ කල හැක)

සිද්ධි #3 වාහනයක සිංහල බෞද්ධ රියදුරුට මග යන මුස්ලිම් තරුණයෝ තුන් දෙනෙක් කුමක් හෝ හේතුවක් නිසා අම්බානක් නෙලති. රියතුල සිටි බෞද්ධ භික්ෂුවකටද පහර දීමට එම තරුණයෝ අමතක නොකරති.  මෙය මෙලෙසද විය හැක. වාහනයක මුස්ලිම් රියදුරුට මග යන සිංහල බෞද්ධ තරුණයෝ තුන් දෙනෙක් කුමක් හෝ හේතුවක් නිසා අම්බානක් නෙලති. රියතුල සිටි මවුලවි තුමාටත් පහර දීමට එම තරුණයෝ අමතක නොකරති.

මෙම සිද්ධි තුනෙහි වෙනසක් ඔබ දකින්නේද, ඔබ ආගම්වාදී ජාතිවාදියෙකි.

Wednesday, May 21, 2014

ප්‍රශ්න බොර කිරීම!

අද දවසේ දිනපතා ජාතික පුවත් පතක තිබුන පුවතකින් රටේ වෙදාට පශ්චාත් භාගයෙන් හිනා ගියේය. දුම්බර කඳු පන්තියේ (නකල්ස්) එනසාල් වගා කිරීම නැවතීමට ගත් තීරණය පිටිපස්සෙ ඉන්දීය එනසාල වවන්නන් ඉන්නා බව මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ අමාත්‍යවරයෙක් ප්‍රකාශයක් නිකුත් කරලාලු.

දැන් ඉතින් ලංකාවේ ඇත්තන්ට තවත් සතුරෙක් සිටියි. ඒ කවුරුත් නෙවෙයි, ඉන්දීය එනසාල් ගොවීන් ය. ඇමති තුමා කියන විදිහට ඉන්දීය ගොවීන්ට ලංකාවට එනසාල් එවීමට ඇති බාධාව ලංකාවෙ ගොවීන් එනසාල් වගා කිරීමය. ලංකාවෙ එනසාල් වගාව නතර කිරීමේ වාසිය ඉන්දියාවටය. එතුමා තවත් කියන විදිහට, නකල්ස් වල එනසාල් වගාවෙන් ජීවත්වන පවුල් "සිය" ගනනක් වගා තහනම නිසා විපතට පත් වන්නේය.

ලංකාවේ රජයේ ඇමතිවරු රටේ ප්‍රශ්න විඳන ක්‍රම කීපයක් තිබේ. මේ ඇමති තුමා පාවිච්චි කර තියෙන්නෙත් ඉන් එකකි. එනම් ගටලුව බොර කිරීමය. ගැටලුව බොර කර පැත්තකට වී බලා සිටීමය. පසුගිය කාලයේ රටේ ඇතිවුන ප්‍රශ්න ගොඩකදි මෙයාල මේ ක්‍රමය පාවිච්චි කර තිබුනි. මේවාට රටේ ප්‍රසිද්ධ මාධ්‍යත් පුදුම තල්ලුවක් දුන්නේය. ගැටලුව බොර කල විට ගැටලුවේ මුල රටේ ජනතාවට අමතක වීයයි. එවිට ගැටලුව එසේම තිබියදී මේ කපටි දෙසපාලුවෝ පොවන වෙනත් ආතල් කතා නිසා ජනතාව මල් ගැසුවෝ මෙන් වෙති.

රටේ වෙදාට හිතෙන විදිහට ගටලුව මෙහෙමය. නකල්ස් පරිසර සංවේදී කලාපයකි. ඒක එනසාල් වගාවට යොදා ගැනීම අපරාධයකි. මෙහි එනසාල් වගා කරන්නෝ ඇමැත්තෝ නොවෙති. වගා කරන්නේ සාමාන්‍ය ජනතාවය. ජනතාව ලවා වගා කරවන්නේ අසාමාන්‍ය ජනතාවය. තහනම නිසා වගා කරන්නෝ අගතියට පත්වෙති. වගා කරවන්නෝද අගතියට පත්වෙති. වගා කිරීමට ඉඩ දීමෙන් නකල්ස් අගතියට පත් වෙයි. ඇමති තුමා අඬන්නේ වගා "කරන්නන්" අගතියට පත්වීම ගැනය. වගා "කරවන්නන්" ගැන මෙතුමා කොලේ වසයි.  එතුමා ඉන්දියාවෙන් සතුරෙක් හොයා ගන්නේ මෙතනදිය. අපේ ඇමතිතුමාට අනුව නකල්ස්වල එනසාල් වගාවට ඉඩ දිය යුතුය. මොකා කලත් වැ‍රැද්ද වැ‍රැද්දමය. වගා කරන්නාද, වගාවට අනුබල දෙන්නාද, වගාව වෙනුවෙන් කතා කරන්නාද එකසේ වැරදිය. වෙනත් විදිහකින් කියනවනම්, වැ‍රැද්ද කරන්නාද, වැ‍රැද්ද කිරීමට අනුබල දෙන්නාද, ඒ වෙනුවෙන් හඬක් නගන්නාද වැරදිය.

ලංකාවේ ජනතාව මෙය වෙනත් ගැටලු වලටත් ආදේශ කර ගනිත්වා!

Friday, May 16, 2014

''ඥාණසාර'' මහින්ද ගෙ මල්ලි ද?

කොල්ලො දෙන්නෙක්ගෙ අලුත් වැඩක්. උන්දෙන්නව මම දන්නෙ නෑ. යූබටේ පැත්තෙ කරක්ගහනකොට අහම්බෙන් වගේ හම්බ උනේ. උන්ගේ අදහස් හිතට ඇල්ලුවා. සපෝට් එකක් දෙන්න හිතුන නිසා ඔන්න මම දැම්මා.

Friday, May 9, 2014

සිදුහත් කුමාරයා සමරිසි ද?

මාතෘකාව කියවපු ගමන් බොබසේ හරි සිරා හරි රටේ වෙදාගේ අහවල් දේ ගලවන්න එයිද දන්නෙ නෑ. මේක රටේ වෙදාගෙ ඔරිජිනල් අයිඩියා එකක් නෙවෙයි. ඒත් සිදුහත් සමරිසි කියල හිතන්න බැරිකමක් නෑ මිනිහගෙ හැසිරීම දැක්කම.

පළවෙනි කාරණේ, මිනිහා කසාද බැන්දේ අවුරුදු 16 දි, ළමයෙක් හම්බ උනේ අවුරුදු 30 දි. අවුරුදු 14ක් යශෝදරත් එක්ක හිටිය කෙනා ඔච්චර කාලයක් ළමයෙක් හදන්නෙ නැතුව හිටියෙ ඇයි. අනික ඔය දවස් වල අද වගේ උපත් පාලන ක්‍රම තිබුනෙත් නැහැනොවැ. අද කාලෙ සමරිසි කොල්ලො, කෙල්ලො වගේම, එදා දෙමව් පියන්ගේ වචනෙට සිදුහත් නැවෙන්න ඇති. කසාද බැන්දට පස්සෙ යශෝදරා පැත්ත පලාතට නොගිහින් චන්න එක්ක රවුම් ගැහුවා වෙන්න බැරිද?

දෙවනි කාරණේ, ගිහිගෙයි අත් හරින දවස ගැන බොහොම වර්ණාවක් අපේ බණ පොත් වල තියෙනවනේ. බණ පොතේ තියෙන විදිහට සිදුහත් ගෑනු ගැන වැඩි ඇල්මක් දක්වලා නැති හැඩයි.  නාටිකාංගනාවො නටන සීන් එකෙන් ඒ ගැන ඉඟියක් ගන්න පුලුවන්.

රටේ වෙදා මේක පිලිගන්නවද නැද්ද යන්න වෙනම කතාවක්. නමුත් සිදුහත් රමසිදි ද නැද්ද කියන එක රටේ වෙදාට ප්‍රශ්නයක් නෙවෙයි.

Friday, April 25, 2014

විකෘති බුදු රූපද, විකෘති මනස්ද?

මෙදා පාර වෙසක් වලට රජතුමාගෙ අන පරිදි බුද්ධ රූපය විකෘති කර යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක වන්නේය. රටේ වෙදානම් එයට කැමතිය. මොකද ඉතිහාසයේ වුන වැරදි ටිකකුත් රජතුමාට කියලා විසඳා ගන්න මේක හොඳ අවස්ථාවක් නිසාය.

තිවංක පිළිමය තුන් තැනකින් ඇදය. මෙම ඇද තුනම කෙලින් කල යුතුය. ඉන් පසු මෙම පිළිමය හදපු එකාව දේශද්‍රෝහියෙක් කර මීලඟ මහා වංශ වෙලුමට ඇතුලත් කල යුතුය.

අවුකන පිළිමයේ බුදු හාමුදුරුවන්ගේ සිවුර තුනී වැඩිය. ඒ නිසා සිරුරේ අවයව සිවුරට පිටින් පෙනවා වැඩිය. මෙක උපාසක අම්මලාගේ සීලය බිඳීමට හොඳටම ඇතිය.

ගල් විහාරෙ සැතපෙන පිලිමෙත් මොකක්දෝ අවුලක් තිබෙනවාය. ඒකෙ ඉන පලල් වැඩිය. මොකක්දෝ ලාලිත්‍යයක්, ගැහැණු ගතියක් වගේ දෙයක් යාන්තමට වෙදාට පෙනේ. විසඳුම ගල් විහාර පිළිමය ස්ත්‍රී ලාලිත්‍යය අගය කරන ප්‍රංශය වැනි රටක ලූව් වැන් ක‍ටු ගෙයකට යැවීමය. ඊට පස්සෙ වංගෙඩියක් වගේ පිළිමයක් අලුතින් ගල් විහාරයේ තැබිය හකිය.

වැවුරුකන්නල පිලිමෙ ප්‍රමාණය අම්බානක් අවුල්ය. බුදුහාමුදුරුවන්ගෙ මනුස්ස ශරීරයට වඩා මේක සිය දහස් වාරයක් විශාලය. ඉතින් ඒක බුද්ධ රූපය අමු අමුවේ විකෘති කිරීමක් නෙවේද. ඔබ තුමා වෙසක් එකට හම්බන්තොට පැත්තෙ යන ගමන් වැවුරුකන්නලටත් විසඳුමක් දුන්නානම් හොඳය.

රජතුමනි. හැමෝම කියන්නේ අනුරාධපුරේ සමාධි පිළිමය බුදු හාමුදුරුවන්ගේ ජීවමාන රූපයට සමාන බවය. ඒත් වෙදාට මේකෙ පොඩි විකෘතියක් පෙනේ. කොච්චර සමාන උනත් මේකට පණ නැතිය. ඒක අමු විකෘතියක්ය. මහ රජතුමනි, සමාධි පිළිමෙට පණ ලබාදුන මැනවි. ඉන් පසු ලංකාව දෙස බලා බුදු හිමියන් සියදිවි හානි කරගන්නවා බලා හිඳිනු මැන්වි.

Monday, February 24, 2014

අපි නොදන්න බැංකු

ඊයේ මම බැංකුවකට ගොඩ වැදුනේ ගිනුමක් වසා දමන්න කියලාය. බැංකුවල දැන් ඉස්සරහින්ම ඉන්නේ පැඟිරි කෙල්ලන්ය නැත්නම් පැඟිරි කොල්ලන්ය. මගේ වඩේ කරන්න පැවරුනේ මේ පැඟිරියක්ටය. මගේ අවශ්‍යතාවට ගිනුම වැසීමය, පැඟිරියගෙ අවශ්‍යතාවය ඒ වලක්වා ගැනීමය. දැන් මෙයා මට ගිනුමේ වාසි සහ බැංකුවෙන් දෙන සේවා ගැන දිගටම කියවයි. ටිකකින් මට මල පැන්නේය.

"මේ නංගි. දැන් මේ ගිනුමෙ පොලිය 5% යි. ලංකාවෙ පහුගිය අවුරුද්දෙ උද්ධමනයත් 5% විතර. ඒ කියන්නෙ අවුරුද්දකට කලින් දාපු සල්ලි අද වෙනකොට වැඩි වෙලා නැහැ. මම මේ බැංකුවෙන් පුද්ගලික ණය දෙකක් අරන් සම්පූර්ණයෙන් ගෙවලා තියනවා. ඒවට මම 16% - 18% අතර පොලියක් ගෙවලා තියනවා. ඒ කියන්නෙ බැංකුව මගෙන් හම්බ කරගෙන. මගේ ගිනුමෙ තියෙන සල්ලි ඔයාලා පුස්කන්න දි දී තියාගෙන හිටියද? එව්ව අනුන්ට නයට දීලා ඒවයිනුත් හම්බ කරගත්තා. මගෙ ක්‍රෙඩිට් කාඩ් එක (දැන් ඒක නැහැ. මම බංකොලොත්ය) ගත්තෙ මේ බැංකුවෙන්. වාරිකේ ගෙවාගන්න පොඩ්ඩ බැරිඋන ගමන් පොලියද අර දඩ ද මේ දඩ ද ගහලා ඒකෙනුත් හම්බ කරගත්තා. ඒ විතරද ATM එකෙන් රුපියල් 100ක් ගත්තත් රුපියල් 5ක් කපාගන්නවා. අනුන්ට මෙහෙම හම්බ කරගන්න සල්ලි බැංකුවෙ දානවට වඩා හොඳයි ගෙදර තියා ගන්න එක."

මටත් නොදැනිම ටිකක් හයියෙන් කතා කරපු නිසා ලඟ හිටපු තලතුනා මහත්තයෙක් අවිත් පැඟිරියව යවා, ගිනුම වසා තිබුන සොච්චම මගේ අතේ තිබ්බේය.

ජයලලිතා අම්මා වෙත

හිතවත් ජයලලිතා අම්මේ,

ඉස්සෙල්ලාම මම ඔබ තුමියට "අම්මා" කියා ඇමතීම ඔලොක්කුවට ගන්න එපාය. අපේ රටේ සමහර අම්මලානම් කැමති අක්කා කියලා කියනවාටය. ඒත් ඔබ තුමියගෙ ප්‍රාන්තෙ ඉන්න ජනතාව ඔබ තුමිය අමතන්නේ අම්මා කියා කවුරු හෝ මගේ කනේ තිබ්බේය.

ඡන්ද වැඩ කටයුතු එහෙම සාර්ථකව කරගෙන යනවා ඇතැයි සිතමි. මම බැලුවෙ ඔබතුමිය මගේ ඤාතියෙක්වත් කියලාදය. මොකද ඔබ තුමිය රටේ වෙද හාමිනේ කෙනෙකි. එක අත්සනින් ඔබතුමිය ඡන්දය දැනටම දිනලාය. රජීව් අයියා මරාපු අහිංසකයො ටික නිදහස් කරපු එක පුදුම ගුන්ඩුවකි. ඔබ තුමීගෙ ප්‍රාන්තෙ බුද්ධිමත් ජනතාව මේ වෙනකොටත් ඔබ තුමීට ඡන්දය දී ඉවරය. දිල්ලියෙ උසාවිය ඔබතුමියගෙ තීරණයට ඉඩ නොදුන්නත් ඔබතුමී දිනුම්ය. මම කිව්වේ නැතත් දිල්ලියට විරුද්ධව ජාති වාදේ අවුස්සන හැටි ඔබ තුමිය දන්නවාය. කොහොම කලත් ඔබ තුමී දිනුම්ය.

මම මේ තකහනියක්ම ඔබතුමීට ලිව්වේ පොඩි ඉල්ලීමක් කරන්නය. අර අහිංසකයො ටික නිදහස් කලා වගේ ඔය පැත්තේ මුහුදට ඇවිත් අල්ල ගත්ත අපේ ධීවරයො ටික නිදහස් කරල දෙන්න පුලුවන්නම් හොඳය. තමුන්ගේ රටේ අගමැති මරපු එවුන්  නිදහස් කරන්න පුලුවන්නම් තමුගේ මුහුදෙ මාලු මරපු එවුන් නිදහස් කරන එක ඔබතුමීට අමාරු දෙයක් වීමට බැරිය.

ජයවේවා!

මෙයට,
හිතවත්,
රටේ වෙදා